:: Aulad Walo.. සෝබාව හංගා මේ ලෝ තලේ.. ::



හරියටම දවස් දෙකකට පස්සේ තවත් ගීතයක් ලබා දෙන්න තරම් උනන්දුවක් ඇති වුන එක ගැන මටම සතුටුයි.. පහුගිය මාස කීපයේ ලිපියක් ලියන්න බැරි වුන නිසා පැරණි හින්දි ගී රසික රසිකාවියෝ කීපදෙනෙක්ම මග ඇරෙන්න ඇති.. ආපහු ඒ අය දැනුවත් කරන්නත් එක්ක තමයි මේ ළඟ ළඟ ලිපි ලියන්න හිතුනේ..

හරි.. ඔන්න අද ගෙනාවේ අති ජනප්‍රිය අදටත් එක එක වැඩසටහන් වල ඒ වගේම වේදිකාවෙත් ඇහෙන ජනප්‍රිය පැරණි හින්දි ගීතයක්.. බලන්න මතකද කියලා...

ඕලාද වාලෝ පූලෝ බලෝ..
ඕලාද වාලෝ පූලෝ බලෝ..

බූකේ ගරීබ් කී යේ හී දුවාහේ..
ඕලාද වාලෝ පූලෝ බලෝ...

මේ වචන පෙලේ තියෙන්නේ මෙන්න මේ වගේ අදහසක්..

"දරුවන් ලද්දෝ යහතින් වැජඹේවා..
දරුවන් ලද්දෝ යහතින් වැජඹේවා..

සාගින්නේ පෙළෙන දිළිඳන් මෙසේ ප්‍රාර්ථනා කරයි..
දරුවන් ලද්දෝ යහතින් වැජඹේවා.. "



1969 භාරතයේ තිරගත වුන අති ජනප්‍රිය "ඒක් පූල් දෝ මාලික්" (Ek Phool Do Mali) චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. මේ නමේ තේරුම "එක මලයි.. අයිතිකාරයෝ දෙන්නයි" කියන එක.. සංජේ ඛාන්, බල්රාජ් සාහ්නී සමග සධානා ශිව්දාසනී තමයි ප්‍රධාන චරිත වලට පණපෙව්වේ.. වැඩිය ජනප්‍රිය නළු නිළියෝ නොවුනට අති සාර්ථක රංගනයක් කලා කියන්න පුළුවන්.. ලංකාවේ මේ චිත්‍රපටිය නොබලපු කෙනෙක් නැති තරම්.. අපේ තාත්තා 12 වතාවක් මේ චිත්‍රපටිය බලලා තියෙනවා.. ඉතින් හිතා ගන්න පුළුවන් ඇතිනේ චිත්‍රපටියේ ජනප්‍රියත්වය.. ඒ වගේම මේ චිත්‍රපටියේ ගීත 08ක් අඩංගු වෙලා තිබුනා.. රවි ශංකර්ගේ සංගීතයෙන් තමයි ඒ ගීත සියල්ලම හැඩ වුනේ.. ‍මේ ගීතයේ පද ටික ලියැවුනේ නම් ප්‍රේම් ධවාන් ගෙන්.. සුපුරුදු පරිදි ගායනය මොහොමඩ් රාෆිගෙන්, යුග ගායනය ආශා බෝස්ලේගෙන්.. අහලා බලන්නකෝ ආශා බෝස්ලේගේ කටහඬ ඉස්සර.. හරිම ලස්සනයි.. ඔන්න පහලින් බාගන්නත් බලාගන්නත් පුළුවන්...



ඕලාද් වාලෝ - Aulad Walo







හරි අපි දැන් බලමු මේ තනුවට ගායනා වුන සිංහල ගීතය මොකක්ද කියලා.. ඔන්න බලන්න මතකද කියලා..

සෝබාව හංගා මේ ලෝ තලේ...
ආලෝකයෙන් මා ඇයි වෙන්කලේ..
අනුකම්පා නැති දෛවේ හිනාවේ..
සෝබාව හංගා...

1972 තිරගත වුන "මේ දෑස කුමටද? චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. තිමති වීරරත්න (සංගීතා වීරරත්නගේ තාත්තා) අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටිය ඒ අවුරුද්දේ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙලන්න හැකියාවක් ලැබුනා.. විජය කුමාරණතුංග සමග මාලනී ෆොන්සේකා තමයි ප්‍රධාන චරිත වලට පණපෙව්වේ.. හින්දි එක යුග ගීයක් වුනාට මේ සිංහල ගීය නම් ගායනා කරන්නේ එච්. ආර්. ජෝතිපාල මහත්තයා විතරයි.. ඔන්න පහලින් බාගන්න අවස්ථාව තියෙනවා.. බලන්න චිත්‍රපටියේ ගීතය නම් නෑ.. ළඟදී ගිය ස්ටාර් වැඩසටහනක යූටියබ් එකක් නම් තියෙනවා.. කැමති නම් බලන්න..

එහෙනම් ගිහිං එන්නම් තවත් සින්දු දෙකක් අරගෙන.. :)

බලන්න ඕනේ නම් යූටියබ්

සෝබාව හංගා - Sobawa Hanga
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Aajab Hai Malik.. දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි.. ::



හරියටම මාස තුනකටත් වැඩි කාලෙකට පස්සේ තමයි ඔන්න අළුත් ගීතයක් අපේ පැරණි හින්දි ගී රසික රසිකාවියන්ට අරගෙන එන්නේ.. මුලින්ම සමාව ඉල්ලලා ඉන්නවා මාස තුනක නිහැඬියාවට..

ඔන්න අද අරගෙන ඇවිත් තියෙන්නේ තවත් ජනප්‍රිය ගීතයක්..

ආජබ් හේ මාලික් තෙරා ජහාන්
චිරාග් කහා රෝෂනී කහා...
ආග් ලගේ නහී උටේ දුවා
චිරාග් කහා රෝෂනී කහා...

ගොඩක් අය මේ ගීතය අහලා ඇති.. ඒත් දැකලා නම් නැතුව ඇති.. 1959 තිරගත වුන "චිරාග් කහා රෝෂනී කහා" (Chirag Kahan Roshni Kahan) කියන චිත්‍රපටියේ තේමා ගීතය තමයි මේ.. මේ නමේ තේරුම "පහන කොහේද ? නමුත් ආලෝකය කොහේද ?" කියන එක.. දේවේන්ද්‍ර ගොඒල් නිෂ්පාදනය කරලා අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත වලට පණ පෙව්වේ හින්දි සිනමාවේ කඳුලු බින්දුව මීනා කුමාරි එක්ක රාජේන්ද්‍ර කුමාර්... රවි ශංකර් මහත්තයා සංගීතවත් කල මේ ගීතය ගායනා කරන්නේ සුපුරුදු විදිහට මොහොමඩ් රාෆි මහත්තයා.. 1960 වර්ෂයේ ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලේ හොඳම නිළියට සහ හොඳම කථාවටත් නිර්දේශ වුනා.. ඔන්න පහලින් බාගන්නත් බලා ගන්නත් අවස්ථාව තියෙනවා..



ආජබ් හේ මාලික් තෙරා ජහාන්...





ඉතින් පස්සේ කාලෙක මේ චිත්‍රපටියම සිංහ‍ලින් දෙබස් කවලා ලංකාවේ ප්‍රදර්ශණය වුනා "මගේ පුතා" නමින්... මේ ගීතය මේ ආකාරයෙන්ම පරිවර්තනය වෙලත් තිබුනා.. කාටත් මතක ඇති...

දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි...
පහණ ළඟයි ආලෝකේ දුරයි...

මේ ගීතය ගායනා කරන්නේ මොහොමඩ් රාෆි මහත්තයා.. ඔන්න කැමති අයට පහලින් බාගන්න එහෙම පුළුවන් ඔන්න..

දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි...
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Do Din Ke Liye.. ලෝ අම්බලමේ.. ::






හරියටම මාසෙකට පස්සේ තමයි ඔන්න අළුත් ලිපියක් අරගෙන එන්නේ.. රජරට පුත්‍රයා මුලින්ම සමාව ඉල්ලා සිටිනවා පමාවට..

ඉතින් පහුගිය කාලේ රාජකාරී වැඩ කෝටියක් තිබුනා.. ඒ අතරෙදි අපේ බ්ලොග් සහෘද‍යන් කීපදෙනෙක්ම මුණගැහෙන්නත් වෙලාවක් කලාවක් ලැබුනා.. ඒ අතරින් අපේ නොදරුවා එක්ක සෑහෙන ලොකු චැට් එකක් දාන්න ලැබුනා රංගි අක්කලාගේ ගෙදර රට බීම බෝතල් බාගයක් හිස් කරන ගමන්ම.. මේ චැට් එකට නොදරුවාගේ බිරියයි, අපේ ආගන්තුකයායි, ඇබ්නොර්මල් මලීයායි, පිස්සු අසංකාත් සෙට් වුනා.. විශ්ව සංගීත සාගරයම කළඹලා වොඩ්කා වලට සැන්ඩි කරලා බිව්වා කිව්වොත් ලාවට වගේ හරි.. :P ඉතින් නොදරුවා කියන්නේ ම‍ගේ මේ බ්ලොගේ හොඳ ෆෑන් කෙනෙක්.. ෆෑන් කෙනෙක් නෙමෙයි ඒ.සී. මැෂින් කෙනෙක්.. :D අද දාන මේ ලිපිය නොදරුවා වෙනුවෙන් දාන්නේ ඔන්න...

1951 තිරගත වුනා "බාදල්" (Badal) කියලා චිත්‍රපටියක්.. මධුභාලා එක්ක ප්‍රේම්නාත් තමයි ‍ප්‍රධාන රංගන යුවල වුනේ.. අමියා චක්‍රබෝර්ති තිර රචනය කරලා අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ කථාව එංගලන්තේ රොබින් හුඩ්ගේ කථාවේ ඉන්දියානු පිටපත කිව්වොත් හරි.. හරිම ලස්සන ගීත කීපයක් මේකේ අඩංගු වුනා.. ඒ අතරින් මෙන්න මේ ගීතය ඒ කාලේ සෑහෙන ජනප්‍රිය වුනා..

"දෝ දින් කේ ලියේ මෙහෙමාන් යහා.. මාලූම් නහී මන්සිල් හේ කහා.. "

ශෛලේන්ද්‍ර ලියපු ලස්සනම ලස්සන පද වලට ශංකර්-ජයකිෂන්ගේ සංගීතය මුහු කරලා ලතා මංගේෂ්කාර්ගේ මියුරු හඬින් ගැයෙන මේ ගීතය ඔන්න පල්ලෙහායින් අහන්න බලන්න විඳින්න පුළුවන්..



ඇත්තටම මම මේ හින්දි සින්දුව මෑතකදි තමයි අහුවේ.. මුලින්ම අහලා තිබුනේ මේ ගීතයේ තනුවට ගැයුනු සිංහල ගීතය.. මම සෑහෙන කාලෙක ඉඳලා මේ සිංහල ගීතයට ආසයි.. මං හිතං හිටියේ මේක ඔරිජිනල් සිංහල සින්දුවක් කියලා.. කොහෙද.. බලද්දි මේකත් කොපියක් නෙව.. හරි හරි දැන් බලමුකෝ මොකක්ද මේ සිංහල "එක" කියලා..

ලෝ අම්බලමේ ඉඳලා යනවා..
නිසි පාර සොයා ආගන්තුකයා..
දෙයි මාන බලා කරුමේ පහරා..
මේ ජීවිතයේ කොයි ස්ථීරතා..

පිණි බින්දු වගේ බිඳි යාවී සැනේ..
මේ නිසරු කයේ අපි ආලේ කලා..
කරුමේ කලේ මේ කිමදෝ අනේ අහෝ.. //
මේ මාව දමාලා යන්නේ කොහේ..

ගිණි දැල්ල නගින්නා සොහොන පුරා..
දුම් කන්ද නගී ආකාසේ කරා..
ගිණි දැල්වීලා ආවේ හර්දේ පලා..
පව්කාර මගේ පව් පලදේ අහෝ..
මේ ජීවිත‍යේ කොයි ස්ථිරතා..

සංසාර දුකෙන් මිරිකීම තමා..
ලෝකේහී සොබාදහමේ නියමා..
මරණේට ආ දා යායුතුයි ඔව්..
මරණේට ආ දා යායුතුයි..
ධර්මේ නමුත් සැනසෙන්නේ කෙසේ..

ලෝ අම්බලමේ ඉඳලා යනවා..
නිසි පාර සොයා ආගන්තුකයා..

මේ ගීතයේ පද ටික ඔක්කොම මම මුලින්ම කියව්වේ අපේ ලොකු නැන්දාගේ දිනපොතේ ලියලා තිබිලා.. නැන්දාගේ ජීවිත කථාව ලියාගෙන යන ගමන් මැද මේ පද ලියලා තිබුනා.. මට අවුරුදු 12ක් විතර ඇති එතකොට.. මට පුදුම විදිහට ආස හිතුනා මේ පද වලට.. අදටත් මම මේ සින්දුවට ආසයි..

1957 තිරගත වුන "ජීවිත සටන" චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වෙලා තිබුනේ.. ශාන්ති කුමාර් එක්ක සීතා ජයවර්ධන ප්‍රධාන චරිත රඟපෑ මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් ශාන්ති කුමාර්මයි.. මේ ලස්සන ගීතය ගායනා කලේ දකුණු ඉන්දියාවෙන් පැමිණි "ජික්කි" කියන ගායන ශිල්පිණිය..

ඉතින් පස්සේ කාලෙක මේ සින්දුව හොයද්දී මට හම්බුනා මුල් කොපියම රජරට සේවේ කාලයක් වැඩ කරද්දී.. පස්සේ කාලෙක මේක නන්දා මාලනී මහත්මිය හරි අපූරුවට ගායනා කරලා තිබ්බා කිසිම හානියක් නොකරම.. ඔන්න ඒ ගීතය තියෙනවා පල්ලෙහායින් බාගන්න.. තව යුටියුබ් විඩියෝ එකක් තියෙනවා ඔය රියැලටි තරඟෙකදි ගායනා කරපු.. නමුත් ඒක embed කරලා දාන්න බෑ.. කැමති නම් ගිහින්ම බලන්න ලින්ක් එක තියෙනවා ඔන්න..

අදට එච්චරයි.. තව සින්දු ටිකක් අරං පුළුවං ඉක්මනට එන්නම් ඕං.. බායි කිව්වා..

ලෝ අම්බලමේ ඉඳලා යනවා - නන්දා මාලනී

ලෝ අම්බලමේ ඉඳලා යනවා - යූටියුබ් වීඩියෝ එක
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Kusoor Aap Ka.. කොළොම්පුරේ ශ්‍රියා..::







කාලෙකින් තමයි ඔන්න සින්දුවක් දෙකක් අරගෙන මේ පැත්තේ එන්න ලැබුනේ.. හැම පැත්තටම දැන් ගංවතුරලුනේ.. දැනට සති දෙක තුනකට කලින් ඉහෙන් කටින් ගලන්ඩ දාඩිය දැම්මා.. දැං ඔන්න ගෙවල් උතුරන්ඩ ගංවතුර ගලනවා.. අනිච්චේ දුක්ඛේ කිව්වලු.. හරි හරි කාලීන සිදුවීම් ඇති.. දැන් කාලීන සිදුවීම් අලලලා ලස්සනම ලස්සන අදටත් ජනප්‍රිය පට්ට පරණ සින්දුවක් දෙකක් දෙන්ඩ තමයි ඔන්න හදන්නේ..

මේ දවස් වල ඉතින් වෑර්ලස් එකෙයි රූපපෙට්ටියෙයි යන්නෙම කොළොම්පුරේ ගංවතුර ගැනනේ.. ඉතින් මට හිතුනා "කොළොම්පුරේ ශ්‍රියා" සින්දුව ගැන පොඩි හෙළිදරව්වක් කරන්න.. ඇත්තම කිව්වොත් සුපුරුදු විදිහට මේකත් ඔරිජිනල් හින්දි කොපියක්..

"කොළොම්පුරේ ශ්‍රීයා.. කොළොම්පුරේ ශ්‍රීයා..
බොහොම ලස්සනයි.. කොළොම්පුරේ ශ්‍රීයා.. ශ්‍රීයා.."

1952 එස්. එස්. වේදා කියන අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය කල ලංකාවේ තිරගත වුන "උමතු විශ්වාසය" චිත්‍රපටියේ තමයි මේ සින්දුව අඩංගු වුනේ.. රුක්මනී දේවී හා එඩී ජයමාන්න යුවල තමයි රංගනයෙන් දායක වුනේ.. ඒ වගේම එඩී ජයමාන්නමයි ගායනයත් කලේ.. '47 දී "කඩවුනු පොරොන්දුව" දීලා '52 දී "උමතු විශ්වාසය" ක් කොලා බයක් සැකක් නැතුවම.. :D

ඒත් ඉතින් කරුමෙට මේ සින්දුව රූපත් එක්ක මුල් පිටපත හොයාගන්න නෑ.. ඒත් වාසනාවකට ඒ සින්දුව පස්සෙ කාලෙක ඩෙස්මන්ඩ් සිල්වා ගායනා කරන එක රූපත් එක්කම තියෙනවා.. ඔන්න පල්ලෙහායින් බලාගන්න පුළුවන්..




හරි අපි දැන් බලමු කොළොම්පුරේ ශ්‍රියා හැදුවේ මොන තනුවෙන්ද කියලා..

"කුසූර් ආප් කා.. හුසූර් ආප් කා..
මේරා නාම් ලී ජීයේනා මේරේ බාප් කා.."

1951 උත්තර භාරතයේ තිරගතවුන "බහාර්" (Bahaar) චිත්‍රපටියේ තමයි මේ ලස්සන සින්දුව අඩංගු වෙලා තිබුනේ.. කරන් දීවාන්, වෛජයන්ති මාලා සමග ප්‍රාන් තමයි ප්‍රධාන චරිත වලට රඟපෑවේ.. වෛජයන්ති මාලා රිදී තිරයට ආපු මුල්ම මුල් කාලේ තමයි මේ.. දැක්කට අඳුරන්නත් බෑ වගේ.. එච්චරට වෙනස්.. ඉතින් මේ සින්දුව ගායනා කරන්නේ කිෂෝර් කුමාර්.. කිෂෝර් කුමාර් මහත්තයත් මේ ක්ෂේත්‍රයට ආපු මුල් කාලේ නිසා කටහඬ හරි අමු පාටයි.. අහලම බලන්නකෝ.. ඉතින් මේ සින්දුව මේ චිත්‍රපටියේ දෙපාරක් ගායනා කෙරෙනවා.. දෙවනි පාර ගායනය වෛජයන්ති මාලා.. හරි ලස්සන සින්දුවක්.. ඔන්න දෙකම බලන්න පල්ලෙහායින්..

තව ලස්සනම ලස්සන ජනප්‍රියම ජනප්‍රිය සින්දු ගෝනියත් අරගෙන ඉක්මනටම එන්නම්.. රජරට පුත්තරයා ඔන්න බා.....යි.. කිව්වා..



උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන