:: Aane Se Uske.. ආලෝකේ බිහිවී.. ::


තවත් ටිකක් ජනප්‍රිය පැරණිම පැරණි හින්දි ගීතයක් ගැන කියන්න තමයි අදත් ආවේ.. මෙන්න මේකයි ගීතය...

ආනේසේ උස්කේ ආයේ බහාර්..
ජානේසේ උස්කේ ජායේ බහාර්..
බඩී මස්තානිහේ මේරි මෙහෙබූබා..
බඩී සින්දගානීහේ මේරි මෙහෙබූබා..

1969 වර්ෂයේදී තිරගතවුන “ජීනේ කී රාහ්“ (Jeene Ki Raah) කියන චිත්‍රපටියේ.. මේ චිත්‍රපටිය නිෂ්පාදනය, තිරරචනය සහ අධ්‍යක්ෂණය කලේ එල්. වී. ප්‍රසාද්. ජිතේන්ද්‍ර, තනූජා සමග ජග්දීප් සහ සංජීව් කුමාර් රංගනයෙන් දායක වුනා.. ගමේ ඉඳන් නගරයට රැකියාවක් සොයාගෙන යන තරුණයෙක් ගැන තමයි මේ කථාවේ කියැවෙන්නේ.. 1953 තිරගත වුන තෙලිඟු චිත්‍රපටියක කථාවක් ආශ්‍රෙයන් තමයි ජීනේ කී රාහ් චිත්‍රපටිය නිෂ්පාදනය වුනේ.. ලක්ෂ්මිකාන්ත්-ප්යාරේලාල් සහෝදර දෙපළගේ සුමියරු සංගීතයට ආනන්ද් බක්ෂි තමයි පද ගැලපුවේ.. සුපුරුදු විදිහට මොහොමඩ් රාෆි මහත්තයා මේ ගීතය ගායනා කරනවා..

ඔන්න පහලින් ගීතය බලාගන්නත් ගීතය බාගන්නත් වෙනදා වගේම අවස්ථාව තියෙනවා..





දැන් බලමු මේ හින්දි ගීතයේ තනුවට ගැයුනු සිංහල ගීතය මොකක්ද කියලා.. මතකද බලන්න පහල තියෙන පද පේලි කියවලා..

අලෝකේ බිහිවී පැතිරෙයිදෝ
ආශාව ඉටුවී සපිරෙයිදෝ
වැළලුනු මල ඊයේ.. තව හෙටත් තියේ..
සටනකි ජීවිතේ.. ජය පරාජ වේ..

අපේ තාත්තාගේ ආසම සින්දුවක් හින්දා මට පොඩි කාලේ ගොඩක් මේ ගීතය අහන්න ලැබුනා.. ඒත් මේ ගීතය අඩංගු වුනේ 1973 තිරගත වුන “සුහද පැතුම“ චිත්‍රපටියේ.. කිංස්ලි රාජපක්ෂ අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටිය නිෂ්පාදනය කලේ කැමිලස් පෙරේරා.. ප්‍රධාන යුවලට පණ පෙව්වේ තිස්ස විජේසුරේන්ද්‍ර සමග මාලනී ෆොන්සේකා.. මේ ගීතය ගායනා කලේ එච්. ආර්. ජෝතිපාල මහත්මයා.. ඔන්න පහලින් බාගන්න අවස්ථාව තියෙනවා..




උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Mera Chohta Sa Deko.. මට ආලෝකේ ගෙන දේවි.. ::




ඔන්න තවත් ජනප්‍රිය ගීතයක් අරගෙන මම ආපහු ආවා.. පහුගිය ලිපියට තිබුන ප්‍රතිචාර වලින් තේරුනා තාම මගේ බ්ලොග් එක කියවන අය ඉන්නවා කියන එක.. බොහෝම සතුටුයි ඒ ගැන ඉතින්..

අද අරගෙන ආවේ 1956 තිරගත වුන “බායි බායි“ කියන චිත්‍රපටියේ අඩංගු වුන අති ජනප්‍රිය ගීතයක්.. මේ ගීතය මතක් කලේ අපේ නිලුපුල් සහෝදරයා.. මුලින්ම නිලුපුල්ට ස්තූතිවන්ත වෙනවා මේ ගීතය මතක් කලාට..

“මෙරා චෝටා සා දේකෝ යේ සංසාර හේ..
මෙරා ජීවන් හේ යේ මෙරා සිංගාර හේ..
මෙරා චෝටා සා දේකෝ යේ සංසාර හේ..“

මම දන්න තරමින් මෙන්න මෙහෙමයි මේ පද වල සිංහල අරුත තියෙන්නේ-

“මගේ පොඩි පුතා දෙස බලන්න මොහු මගේ සංසාරය වගේ..
මගේ ජීවනයත් ඔහුයි මගේ ආත්මයත් ඔහුයි..“

මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලේ නිතායි පලිත්.. ප්‍රධාන නළු නිළි යුවල විදිහට රඟපෑවේ අශෝක් කුමාර් සමග නිම්මි.. ඒවගේම ජනප්‍රිය ගායක කිෂෝර් කුමාර්, නිරූපා රෝයි සහ ඕම් ප්‍රකාශ් යන අයත් රංගනයෙන් දායක වුනා.. මේ ගීතයට මියුරු සංගීතය සැපයුවේ මදන් මෝහන්.. පද පෙළ ගැලපුවේ රජේන්ද්‍ර ක්‍රිෂාන්.. මියුරු හඩින් ගායනා කරන්නේ ලතා මංගේෂ්කාර්..

මෙරා චෝටා සා - ලතා මංගේෂ්කාර්






ඉතින් දැන් අමුතුවෙන් මතක් කරන්න දෙයක් නම් නෑ මේ ගීතයේ සිංහල කොපිය මොකක්ද කියලා.. මොකද මෑතකදි මේ ගීතය ලොකු ජනප්‍රියත්වයක් ලබපු නිසා..

“මට ආලෝකේ ගෙන දේවී සංසාරයේ..
මගේ ජීවන මගේ බැමි ස්ථීර වේ..
මට ආලෝකේ ගෙන දේවී සංසාරයේ..“

1960 තිරගත වුන “අයියයි මල්ලියි“ කියන චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. ජික්කි කියන දකුණු ඉන්දියානු ගායිකාව තමයි මේ ගීය මියුරුවට ගායනා කරන්නේ.. පසු කාලෙදි කලාවතී කියන ගායන ශිල්පිනියත් මේ ගීතය ගායනා කරලා තියෙනවා.. ඉරාජ් මීට වසර කීපයකට කලින් කරපු රීමික්ස් එක නිසා මේ ගීතය නව පරම්පරාව අතරත් ජනප්‍රිය වුනා..

ඔන්න පහලින් මේ ගීත දෙකම බාගන්න බලාගන්න අවස්ථාව තියෙනවා ඔන්න..

මට ආලෝකේ ගෙන දේවී - කලාවතී

මට ආලෝකේ ගෙන දේවී - ඉරාජ්

උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Yehi Tho Hai Woh.. අනංගයා මං.. ::



සෑහෙන කාලෙකට පස්සේ ඔන්න මේ පැත්තේ ඇවිත් ගීතයක් දෙකක් බෙදා ගන්න කියලා හිතුනා මගේ යාළුවෙක් ළඟදී මේ ගැන මතක් කරපු නිසා.. අද අරගෙන ආවේ අවුරුදු කාලෙට එහෙම ඇහෙන තනුවක මුල් ගීතය..

යෙහි තොහේ වෝ..
යෙහි තොහේ..

1958 තිරගත වුන “සෝල්වා සාල්“ චිත්‍රපටියේ තමයි මේ ලස්සන ගීතය අඩංගු වුනේ.. “සෝල්වා සාල්“ කියන එකේ සිංහල තේරුම තමයි අවුරුදු 16ක් කියන එක.. රාජ් කෝස්ලා අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරලා තියෙන්නේ චන්ද්‍රකාන්ත් සී. දේසායී.. ප්‍රධාන නළු නිළි යුවල තමයි දේව් ආනන්ද් සහ වහීදා රෙහ්මාන්.. එස්. ඩී. බර්මන්ගේ සංගීතයට පද ලියුවේ මජුරූහ් සුල්තාන්පුරී.. ලස්සන ආදර කතාවකට අනුව ගෙතූ මේ චිත්‍රපටියේ මියුරු ගීත කීපයක්ම අඩංගු වුනා..

මේ ලිපියේ කතා කරන ගීතයට අමතරව “හේ අප්නා දිල් තෝ ආවාරා“ ගීතය සෑහෙන ජනප්‍රියත්වයක් ලැබුනා.. මේ කාලයේ තිරගත වුන චිත්‍රපටි බොහොමයක් කළු සුදු වීමත් විශේෂත්වයක්..





මේ ගීතය ඇහෙද්දී කාටත් මතක් වෙනවා ඇති සිංහල ගීත කීපයක්ම..

“අනංගයා මං අනංගයා“
“කිරි ඉතිරේවා නව වසරේ“
“අවුරුදු ආවා නව අවුරුදු ආවා“

මේ ගීත වලින් කීපයක්.. මේ ගීත තුනම ගායනා කලේ එච්. ආර්. ජෝතිපාල මහත්මයා.. එකම තනුවට ගැයුනු වෙනස් පද සහිත ගීත තුනක් විදිහට මේ ගීත අඳුන්වලා දෙන්න පුළුවන්..

පහලින් තියෙනවා බාගන්න, අහන්න අවශ්‍ය ලින්ක්.. තව ලස්සන සින්දුවක් අරගෙන ඉක්මනටම එන්නම්.. =]



උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Bago main bahar hain.. සඳට අහස ආදරේදෝ.. ::



මුලින්ම සමාව ඉල්ලනවා මේ අවුරුද්දේ මාස 3කුත් දවස් 3කුත් ගතවෙලා එකම ලිපියක් වත් ලියා ගන්න බැරිවුන එකට... පහුගිය ටිකේ අධික රාජකාරී ගොඩකුත් ක්‍රිකට් ලෝක කුසලානය සම්බන්ධයෙන් ව්‍යාපෘතියකටත් අතගහන්න වුන නිසා මේ පැත්ත බලන්නවත් බැරි වුනා.. ඒත් එහේ මෙහේ ඇවිදිද්දී ලස්සන ගීත කීපයක් හොයාගන්න අමතක කලේ නෑ.. ඉතින් ඔන්න අදත් ගෙනාවා ලස්සනම ලස්සන හින්දි ගීතයක් සහ එහි පදරුතට සමානව නිර්මාණය වුන සිංහල ගීතයකුත්... වෙනදා හින්දි ගීතයේ තනුවට අනුව ගැයුණු සිංහල ගීතය ගෙනාවත් අද ඒ සම්ප්‍රදාය ටිකක් විතර වෙනස් කරන්න හිතුනා අවුරුද්දේ මුල්ම ලිපිය හින්දාම.. එහෙනම් බලමුකෝ මොකක්ද මේ ලස්සන සින්දුව කියලා...

බාගෝ මේ බහාර් හේ.. හේ..
කලියෝ පේ නිකාර් හේ.. හේ..
ඕ.. තුම්කෝ මුජ්සේ ප්යාර් හේ.. නා නා නා නා...

(වසන්තය එළඹිලා නේද ? ඔව්..
මල් පොහොට්ටු පූදිනවා නේද ? ඔව්..
එහෙනම්.. ඔයා මට ආදරෙයි නේද ? නෑ නෑ නෑ නෑ...)

1969 තිරගතවුන ආරාධනා චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වෙලා තිබුනේ.. කොයි කාටත් මතක ඇති ආරාධනා චිත්‍රපටිය නම් නේද ? ඒ වුනාට කීයෙන් කීදෙනාද දන්නේ ඒක ඉංග්‍රීසි චිත්‍රපටියක් කොපියක් කියලා.. 1946 Mitchell Leisen අධ්‍යක්ෂණය කල ඇමෙරිකාවේ තිරගත වුන To Each His Own චිත්‍රපටිය තමයි ආරාධනා චිත්‍රපටියේ ඔරිජිනල් එක කිව්වෝත් නිවැරදි.. ඉන්දියාවේ එහෙමත් නැත්නම් බොලිවුඩ් වල මේකේ රීමේක් එක කලේ ශක්ති සමන්තා කියන අධ්‍යක්ෂක වරයා.. එම අවුරුද්දේ ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටියට, හොඳම නිලියට, හොඳම පසුබිම් ගායකයාට හිමි සම්මාන තුනම දිනා ගන්න මේ චිත්‍රපටියට හැකියාව ලැබුනා.. ශර්මිලා ‍තාගෝර් සමග රාජේශ් ඛන්නා තමයි ප්‍රධාන චරිත වලට පණ පෙව්වේ.. අදටත් මේ දෙන්නම ජීවතුන් අතරවීම තවත් සුවිශේෂී කාරණයක්.. ඒවගේම රාජේශ් ඛන්නා ද්විත්ව රංගනයෙනුත් දායක වුනා.. මෑත කාලයේ කුච් කුච් හෝතා හේ, දිල්වාලේ දුල්හනියා ලේ ජායේන්ගේ වැනි ජනප්‍රිය චිත්‍රපටි වල මවගේ චරිතය රඟදක්වපු ෆරීඩා ජලාල් මේ චිත්‍රපටියේ පෙම්වතියකගේ චරිතයකට රඟපානවත් බලාගන්න පුළුවන්..

සම්පූර්ණ චිත්‍රපටියේම ගීත 07ක් අඩංගු වුනා.. ඒ අතරින් "මෙරේ සප්නෝකි රානි කබ් ආයේගී තූ", "රූප් තෙරා මස්තානා", "චන්දා හේ තූ" කියන ගීත අදටත් සෑහෙන ජනප්‍රියයි.. කිෂෝර් කුමාර්, මොහොමඩ් රාෆි, ලතා මංගේෂ්කාර්, ආශා බෝස්ලේ, එස්.ඩී. බර්මන් ගීත ගායනයා කලා.. සංගීත අධ්‍යක්ෂණය එස්.ඩී. බර්මන් සහ පද රචනා ආනන්ද් බක්ෂි අතිනුත් ලියැවුනා..

මේ ගීතය ගායනා කලේ කිෂෝර් කුමාර් සමග ලතා මංගේෂ්කාර් මහත්මියයි.. ඔන්න පහලින් බලාගන්න, අහන්න වගේම බාගන්න අවස්ථාවත් වෙනදා වගේම දීලා තියෙනවා..

බාගෝ මේ බහාර් හේ.. හේ..








ඉතින් අපි දැන් බලමු මේ ගීතයට සමානව තියෙන සිංහල ගීතය මොකක්ද කියලා.. ඇත්තටම මේ ගීතය හින්දි ගීයේ තේරුම දැනගෙන පසුව නිර්මාණය වුන ගීතයක්ද කියලා නිවැරදිවම තහවුරු කරන්න සාධක නැති වුනත් හින්දි ගීයේ ආකාරයටම පද ගැලපීම ඇති නිසා ඒ ආකාරයෙන් අපිට හිතන්න පුළුවන්..

සඳට අහස ආද‍රේදෝ.. හ්ම් හ්ම්..
මලට බඹරු ආ‍දරේදෝ.. හ්ම් හ්ම්..
දෙනෙතට වත ආදරේදෝ.. හ්ම් හ්ම්..
සොඳුරි‍යේ මට ආදරේදෝ.. නෑ නෑ..

ප්‍රේමකීර්ති ද අල්විස්ගේ පද සංකල්පනාවෙන් හැඩවුනු වික්ටර් රත්නායක සහ සුජාතා අත්තනායක ගායනා කරන මේ ගීතය '70 දශකයේ ඉතා ජනප්‍රිය ගීතයක් වුනා.. ගී පද රචනයේ නවමු අත්හදා බැලීමක් කරන්න ප්‍රේමකීර්ති යොමු වුනේ මේ ගිතයෙනුයි.. පහලින් තියෙන පද කීපයෙන් ඒක පැහැදිලිව ඔප්පු කරනවා..

පද සහනයි - සඳ පහනයි
පද මවනයි - මඳ පවනයි
වසර සසනතුරු - සසර වසනතුරු
අම මාදරෙයි - මම ආදරෙයි

ඒ යුගයේ මේ ගීතය කොච්චර ජනප්‍රියද කිව්වෝත් මේ ගීතය ගායනා කරන්නේ "රට්ට විත්තනායක සහ අජාතා සුත්තනායක" යැයි සමහරු විහිළු කරන්න පවා පටන් ගත්තා.. පහලින් මේ ගීතය අහන්න බාගන්න අවස්ථාව තියෙනවා..

සඳට අහස ආදරේදෝ - වික්ටර්!සුජාතා


තවත් මේ ‍වගේම ලස්සනම ලස්සන ගීත කීපයක් අරගෙන ඉක්මනින්ම එන්නම්..
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන