:: Bago main bahar hain.. සඳට අහස ආදරේදෝ.. ::



මුලින්ම සමාව ඉල්ලනවා මේ අවුරුද්දේ මාස 3කුත් දවස් 3කුත් ගතවෙලා එකම ලිපියක් වත් ලියා ගන්න බැරිවුන එකට... පහුගිය ටිකේ අධික රාජකාරී ගොඩකුත් ක්‍රිකට් ලෝක කුසලානය සම්බන්ධයෙන් ව්‍යාපෘතියකටත් අතගහන්න වුන නිසා මේ පැත්ත බලන්නවත් බැරි වුනා.. ඒත් එහේ මෙහේ ඇවිදිද්දී ලස්සන ගීත කීපයක් හොයාගන්න අමතක කලේ නෑ.. ඉතින් ඔන්න අදත් ගෙනාවා ලස්සනම ලස්සන හින්දි ගීතයක් සහ එහි පදරුතට සමානව නිර්මාණය වුන සිංහල ගීතයකුත්... වෙනදා හින්දි ගීතයේ තනුවට අනුව ගැයුණු සිංහල ගීතය ගෙනාවත් අද ඒ සම්ප්‍රදාය ටිකක් විතර වෙනස් කරන්න හිතුනා අවුරුද්දේ මුල්ම ලිපිය හින්දාම.. එහෙනම් බලමුකෝ මොකක්ද මේ ලස්සන සින්දුව කියලා...

බාගෝ මේ බහාර් හේ.. හේ..
කලියෝ පේ නිකාර් හේ.. හේ..
ඕ.. තුම්කෝ මුජ්සේ ප්යාර් හේ.. නා නා නා නා...

(වසන්තය එළඹිලා නේද ? ඔව්..
මල් පොහොට්ටු පූදිනවා නේද ? ඔව්..
එහෙනම්.. ඔයා මට ආදරෙයි නේද ? නෑ නෑ නෑ නෑ...)

1969 තිරගතවුන ආරාධනා චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වෙලා තිබුනේ.. කොයි කාටත් මතක ඇති ආරාධනා චිත්‍රපටිය නම් නේද ? ඒ වුනාට කීයෙන් කීදෙනාද දන්නේ ඒක ඉංග්‍රීසි චිත්‍රපටියක් කොපියක් කියලා.. 1946 Mitchell Leisen අධ්‍යක්ෂණය කල ඇමෙරිකාවේ තිරගත වුන To Each His Own චිත්‍රපටිය තමයි ආරාධනා චිත්‍රපටියේ ඔරිජිනල් එක කිව්වෝත් නිවැරදි.. ඉන්දියාවේ එහෙමත් නැත්නම් බොලිවුඩ් වල මේකේ රීමේක් එක කලේ ශක්ති සමන්තා කියන අධ්‍යක්ෂක වරයා.. එම අවුරුද්දේ ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටියට, හොඳම නිලියට, හොඳම පසුබිම් ගායකයාට හිමි සම්මාන තුනම දිනා ගන්න මේ චිත්‍රපටියට හැකියාව ලැබුනා.. ශර්මිලා ‍තාගෝර් සමග රාජේශ් ඛන්නා තමයි ප්‍රධාන චරිත වලට පණ පෙව්වේ.. අදටත් මේ දෙන්නම ජීවතුන් අතරවීම තවත් සුවිශේෂී කාරණයක්.. ඒවගේම රාජේශ් ඛන්නා ද්විත්ව රංගනයෙනුත් දායක වුනා.. මෑත කාලයේ කුච් කුච් හෝතා හේ, දිල්වාලේ දුල්හනියා ලේ ජායේන්ගේ වැනි ජනප්‍රිය චිත්‍රපටි වල මවගේ චරිතය රඟදක්වපු ෆරීඩා ජලාල් මේ චිත්‍රපටියේ පෙම්වතියකගේ චරිතයකට රඟපානවත් බලාගන්න පුළුවන්..

සම්පූර්ණ චිත්‍රපටියේම ගීත 07ක් අඩංගු වුනා.. ඒ අතරින් "මෙරේ සප්නෝකි රානි කබ් ආයේගී තූ", "රූප් තෙරා මස්තානා", "චන්දා හේ තූ" කියන ගීත අදටත් සෑහෙන ජනප්‍රියයි.. කිෂෝර් කුමාර්, මොහොමඩ් රාෆි, ලතා මංගේෂ්කාර්, ආශා බෝස්ලේ, එස්.ඩී. බර්මන් ගීත ගායනයා කලා.. සංගීත අධ්‍යක්ෂණය එස්.ඩී. බර්මන් සහ පද රචනා ආනන්ද් බක්ෂි අතිනුත් ලියැවුනා..

මේ ගීතය ගායනා කලේ කිෂෝර් කුමාර් සමග ලතා මංගේෂ්කාර් මහත්මියයි.. ඔන්න පහලින් බලාගන්න, අහන්න වගේම බාගන්න අවස්ථාවත් වෙනදා වගේම දීලා තියෙනවා..

බාගෝ මේ බහාර් හේ.. හේ..








ඉතින් අපි දැන් බලමු මේ ගීතයට සමානව තියෙන සිංහල ගීතය මොකක්ද කියලා.. ඇත්තටම මේ ගීතය හින්දි ගීයේ තේරුම දැනගෙන පසුව නිර්මාණය වුන ගීතයක්ද කියලා නිවැරදිවම තහවුරු කරන්න සාධක නැති වුනත් හින්දි ගීයේ ආකාරයටම පද ගැලපීම ඇති නිසා ඒ ආකාරයෙන් අපිට හිතන්න පුළුවන්..

සඳට අහස ආද‍රේදෝ.. හ්ම් හ්ම්..
මලට බඹරු ආ‍දරේදෝ.. හ්ම් හ්ම්..
දෙනෙතට වත ආදරේදෝ.. හ්ම් හ්ම්..
සොඳුරි‍යේ මට ආදරේදෝ.. නෑ නෑ..

ප්‍රේමකීර්ති ද අල්විස්ගේ පද සංකල්පනාවෙන් හැඩවුනු වික්ටර් රත්නායක සහ සුජාතා අත්තනායක ගායනා කරන මේ ගීතය '70 දශකයේ ඉතා ජනප්‍රිය ගීතයක් වුනා.. ගී පද රචනයේ නවමු අත්හදා බැලීමක් කරන්න ප්‍රේමකීර්ති යොමු වුනේ මේ ගිතයෙනුයි.. පහලින් තියෙන පද කීපයෙන් ඒක පැහැදිලිව ඔප්පු කරනවා..

පද සහනයි - සඳ පහනයි
පද මවනයි - මඳ පවනයි
වසර සසනතුරු - සසර වසනතුරු
අම මාදරෙයි - මම ආදරෙයි

ඒ යුගයේ මේ ගීතය කොච්චර ජනප්‍රියද කිව්වෝත් මේ ගීතය ගායනා කරන්නේ "රට්ට විත්තනායක සහ අජාතා සුත්තනායක" යැයි සමහරු විහිළු කරන්න පවා පටන් ගත්තා.. පහලින් මේ ගීතය අහන්න බාගන්න අවස්ථාව තියෙනවා..

සඳට අහස ආදරේදෝ - වික්ටර්!සුජාතා


තවත් මේ ‍වගේම ලස්සනම ලස්සන ගීත කීපයක් අරගෙන ඉක්මනින්ම එන්නම්..
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Chalke Teri Aankhon Se.. කළ්‍යාණියේ ඔබ නෑසූ.. ::



ඔන්න ඉතින් ආයෙත් ජනප්‍රිය පැරණි හින්දි ගීයක් අරගෙන ආවේ මාසෙකින් විතර.. ඉස්සර වගේ වැඩිපුර ලිපි ලියවෙන්නැති එක ගැන නම් අහිතක් හිතන්න එපා..

"චල්කේ තෙරි ආන්කෝන් සේ..
ශරාබ් ඔර් ස්යාදා..
කිල්තේ රහේ හෝටෝන් සේ..
ගුලාබ් ඔර් ස්යාදා.."

"ඔබගේ දෙනෙතින් මධුවිත වෑහේ..
මදක් වැඩියෙන්..
ඔබගේ දෙකො‍පුලෙන් රෝසමල් විකසිත වේ..
මදක් වැඩියෙන්.."

අද අරගෙන ආවේ 1965 තිරගත වුන "ආර්සූ" (Arzoo) චිත්‍රපටියේ ජනප්‍රිය ගීතයක්.. රාමනන්ද් සාගර් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ "ආර්සූ" කියන නමේ තේරුම "පැතුම" යන්නයි.. ජීවිතයයි ඉරණමයි පරදවලා ආදරය ජයග්‍රහණය කරන හැටි තමයි මේ කථාවේ අන්තර්ගතය වුනේ.. සුපිරි නළු නිළි යුවලක් වුන රාජේන්ද්‍ර කුමාර් සමග සධානා ප්‍රධාන චරිත වලට රඟපෑවා.. ෆේරෝස් ඛාන් තමයි දුෂ්ඨයාගේ චරිතේ රඟපෑවේ.. ෆේරෝෂ් ඛාන් කියන්නේ අද සුපිරි නළුවෙක් වන ෆර්ඩීන් ඛාන්ගේ තාත්තා.. ඉතින් 1965 වර්ෂයේදී බොක්ස් ඔෆිස් වාර්තා තබපු මේ චිත්‍රපටි‍ය එම වර්ෂයේ ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලේ සම්මාන 05කට පවා නිර්දේශ වුනා.. ශංකර් - ජයකිශන් සහෝදර යුවළගේ සංගීතයෙන් හැඩවුනු මේ චිත්‍රපටියේ ගීපද ලියවුනේ හස්රත් ජයපුරීගෙන්.. සුපුරුදු විදිහට ගායනය මොහොමඩ් රාෆි මහත්මයාගෙන්.. ඔන්න පහලින් අහන්න බලන්න බාගන්න අවශ්‍ය පහසුකම් තියෙනවා..



චල්කේ තෙරී ආන්කෝන් සේ.. - මොහොමඩ් රාෆි


"කළ්‍යාණියේ ඔබ නෑසූ කථාවාක් කියන්නම්..
ඇත්තයි එය මම දිවු‍රා.. කෙසේදෑ කියන්නම්.."

දැන් මතක ඇති නේද සිංහල කොපිය මොකක්ද කියලා.. ජේ. ඒ. මිල්ටන් පෙරේරා මහත්මයා ගායනා කරන මේ ගීතයේ පද ලියවුනේ කරුණාරත්න අ‍බේසේකර මහත්මයාගේ අතින්.. අද වෙන කොට චලක චමුපති, ප්‍රියංකර පෙ‍රේරා යන පුතුන් දෙදෙනාම මේ ගීතය අපූරුව‍ට ගායනා කරනවා.. හින්දී ගීයට වඩා මේ ගීය අපිට බොහොම සමීප ගතියක් දැනෙනවා.. ඒත් පහලින් තියෙන එම්.පී.3 එක නම් නව රිද්මයට තියෙන නිසා එච්චරම හරි නෑ වගේ.. ඒත් පහලින් තියෙන දෙරණ ලිට්ල් ස්ටාර් වල පසිඳු සචින්ත ළමයා නම් හරි අපූරුවට සජීවීව ගායනා කරනවා.. ඒ වගේමයි උදෙශ් ඉන්දුලත්..





කළ්‍යාණියේ ඔබ නෑසූ.. - මිල්ටන් පෙරේරා
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Teri Pyari Pyari... ඔ‍බ වේවා වේවා පහන මගේ.. ::



ඔන්න අළුත් මාසේ අළුත්, ඒත් සෑහෙන්න පරණ සින්දුවක් අරගෙන ඔන්න ආවා...

"තෙරි ප්යාරී ප්යාරී සූරත් කෝ
කිසීකී නසර් නා ලගේ.."

සිංහල ‍තේරුම:

"ඔබේ ඔය ලස්සන සොඳුරු වතට
කිසිවෙකුගේ ඇස්වහක් නොවදින්න.. "

1960 වර්ෂයේ ටී. ප්‍රකාශ් රාඕ අධ්‍යක්ෂණය කල "සසුරාල්" චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. 1959 තිරගත වුන "ඉල්ලරිකම්" යන චිත්‍රපටියේ හින්දි පිටපත තමයි "සසුරාල්" කියන්නේ.. රාජේන්ද්‍ර කුමාර් සමග බී. සරෝජා දේවී ප්‍රධාන චරිත වලින් මේ චිත්‍රපටියට දායක වුනා.. සුපුරුදු විදිහට ශංකර්-ජයකිශන් සහෝදර දෙපල තමයි සංගීතය අධ්‍යක්ෂණය කලේ.. ගීතය ගායනා කලේ මොහොමඩ් රාෆි මහත්මයා.. ඒ වර්ෂයේ ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලේ හොඳම ගීතයට තේරුනෙත් මේ ගීතයමයි..

ඔන්න පහලින් බාගන්න බලාගන්න අවස්ථාව තිබේ..



තෙරී ප්යාරී ප්යාරී - සසුරාල්

-----------------------------------------------------------------------------------------


ඉතින් මේ ගීතයේ සිංහල පිටපත තමයි මේ..

ඔබ වේවා වේවා පහන මගේ
සුපුන් සඳ වාගේ දිලී...

ජේ. ඒ. මිල්ටන් පෙරේරා මහත්තයා 1961 වර්ෂයේ තමයි මුලින්ම මේ ගීතය ගායනා කලේ.. අදටත් සෑහෙන්න ජනප්‍රියයි.. පෙරේරා මහත්තයාගේ පුතුන් දෙදෙනා වන ප්‍රියංකර පෙරේරායි චලක චමුපතියි දැන් මේ ගීය ගායනා කරනවා..

ඔන්න පහලින් බාගන්න අවස්ථාව තියෙනවා.. නව රිද්ම ආකාරයට..


ඔබ වේවා වේවා පහන මගේ
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන

:: Duniya Hase.. නිල් අහසේ උමතු වළා.. ::




ඔන්න දින කීපකයට පස්සේ තවත් ලස්සනම ලස්සන පැරණි හින්දි ගීතයක් සහ ඒ තනුවට ගැයුනු සිංහල ගීතයත් අරගෙන රජරට පුත්‍රයා ආවා..

අද ගෙනාවේ මෙන්න මේ ගීතය.. මතකද බලන්න..

"දුනියා හසේ..
හසිති රහේ..
මේහු ගන්වාර්..
මුජේ සබ්සේ හේ ප්යාර්.."

මෙන්න මේකයි ඒ පද කීපයේ සිංහල තේරුම..

"ලෝකයා සිනාසෙයි..
සිනාසෙමින් සිටී..
කවටයෙකි මා..
හැමදෙනා මා හා ලබැඳියි.."

1970 භාරතයේ තිරගත වුනු නරේෂ් කුමාර් නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කල "ගන්වාර්" (Ganwaar) චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. රාජේන්ද්‍ර කුමාර් "ගෝපාල්" යන චරිතයෙනුත් වෛජයන්ති මාලා "පාරෝ" යන චරිතයෙනුත් ‍හැඩගැන්වුනු මේ චිත්‍රපටියේ සුපුරුදු විදිහට දුෂ්ඨයාට රඟපෑවේ ප්‍රාන්.. නවුෂාඩ්ගේ සංගීතයෙන් හැඩවුනු මේ චිත්‍රපටියේ මේ ගීය ගායනා කලේ මොහොමඩ් රාෆි මහත්මයා.. ඔන්න පහලින් අහන්න බාගන්න අවස්ථාව තියෙනවා වෙනදා වගේම...



දුනියා හසේ - මොහොමඩ් රාෆි






දැන් නම් ඉතින් මතක ඇති මේකේ සිංහල ගීතය මොකක්ද කියලා.. පහුගිය වතාවේ ලිපියේ තිබුනු "මේ දෑස කුමටද" චිත්‍රපටියේම අඩංගු වුන ගීතයක් තමයි මේක..

"නිල් අහසේ.. උමතු වළා..
ගොළු වී දුක සේ පා වෙනවා..
ගිම්හානේ හිරු නැගලා..
පිපුණු කුසුම් පෙති පරවෙනවා.."

1972 තිරගත වුන "මේ දෑස කුමටද? චිත්‍රපටියේ තමයි මේ ගීතය අඩංගු වුනේ.. තිමති වීරරත්න (සංගීතා වීරරත්නගේ තාත්තා) අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටිය ඒ අවුරුද්දේ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙලන්න හැකියාවක් ලැබුනා.. විජය කුමාරණතුංග සමග මාලනී ෆොන්සේකා තමයි ප්‍රධාන චරිත වලට පණපෙව්වේ..

සුපුරුදු විදිහට එච්. ආර්. ජෝතිපාල මහත්මයා තමයි මේ ගීතයත් ගායනා කරන්නේ.. හැබැයි අද නම් ඔන්න බලන්න චිත්‍රපටියේ ගීතයවත් වෙන කෙනෙක් කියන එක වත් නෑ.. ඒත් බාගන්න ඕනේ නම් පහලින් සබැඳිය දීලා තියෙනවා.. නව සංගීතයටත් පරණ ඔරිජිනල් එකත් දෙකම තියෙනවා.. මම නම් අනුමත කරන්නේ පරණ එක.. අහලාම බලන්නකෝ..

නිල් අහසේ උමතු වලා - එච්. ආර්. ජෝතිපාල (නව සංගීතය)


නිල් අහසේ උමතු වලා - එච්. ආර්. ජෝතිපාල (පැරණි සංගීතය)
උදාර මදුෂංක
Udara || උදාර ධර්මසේන